ලෝකයේ අපේ පියවි ඇසට නොපෙනෙන අමනුෂ්‍යයෝ ද මනුෂ්‍යයින් මෙන් ම සිතුම් පැතුම්වලින් යුක්ත වෙති. තරහව, වෛරය, ක්‍රෝධය පළිගැනීම ආදී සිතුවිලිවලින් තරහ කාරයාගෙන් පළිගන්නට මාන බලමින් සිටිති. ඔවුන් අතර ද බලවන්තයෝ ද දුබලයෝ ද සිටිති. මිනිසාට නොපෙනී නොදැනී මිනිසා අසල සැරිසැරීමට ද මිනිස් සිරුරුවලට රිංගා ගැනීමට ද හැකියාව ඇත්තෝ ඇත. මිනිසාට නොපෙනී ක්‍රියාත්මකවීම උන්ට ඇති වාසියකි. ඒ හැකියාව තුළින් මිනිසුන්ට හානි කරති. මිනිසුන්ට ලෙඩ රෝග වැලඳී මහත් සේ ධනය වැය කොට වෛද්‍ය ප්‍රතිකාර ලබා සුව නොවන විට අපට නොපෙනෙන ගුප්ත බලවේගයක් ඇද්දැයි කල්පනා කරති. ඒ වන විට රෝගියා කායිකවත් මානසිකවත් ආර්ථිකවත් අන්තයට දිළිඳු වී හමාරය. ඊළඟට ශාන්ති කර්මවලට යොමු වෙති. එහිදී සිදුවන්නේ හරිහැටි ශාස්ත්‍රය නොදත් තක්කඩි කට්ටඩින්ට අහුවීමය. ගහෙන් වැටුණු එකාට ගොනා ඇන්නා සේ රුපියල් හැට හැත්තෑ දහස වැය කරවති.
මෙහිදී ගුප්ත දෝෂ ඇති කරවන අමනුෂ්‍යයෝ ද අතීත සංසාරගත ඥාතීහු ම ය. ඔවුන් මිය ගිය ද මිය ගියේ “මේ ඉඩම මගේ ය මේ කුඹුර මගේ ය ගේ දොර මගේය” යන සිතුවිලි වලිනි. එයින් දුගතිගාමී වූ මේ ඥාති ප්‍රේතයෝ ඒ වස්තු සම්පත් පරිභෝජනය කරන නව පරපුර දෙස බලා “මා දුක් විඳිද්දී මුන් මගේ ඉඩකඩම්වලින් සැප විඳිනවාය ලාභ ප්‍රයෝජන ගන්නවා” යැයි වෛරයෙන් පසුවෙති. කල නරක් වූ සැනින් උන් පළි ගන්නවා නො අනුමානය. තවත් අය අනුන්ගේ ඉඩම් හා ගෙවල් මුදලට ගනිති. ඒ ගේ දොර විකුණන්නේ ද නව පරපුරේ දරුවෝය. ඒත් ඒ ගේ දොර හැදුවේ ඉඩකඩම් ආරක්ෂා කළේ මිය ගිය මව් පිය පැරැන්නෝය. ඔවුන් මගේ යැ”යි සිතා සිටින දේපළ වෙනත් අයට අයිති වෙනවාට කැමති නැත. ඔප්පු තිරප්පු වලංගුවන්නේ උසාවියට ම පමණි. භූත ලෝකයට ඔය කඩදාසි වලංගු නැත. ඒ නිසා මේ ලෝකයේ මළගියවුන් යැයි කොටසක් සිටින බව පිළිගත යුතුය. මරණයෙන් පසු උපතක් ඇතැයි ද පිළිගත යුතු ම ය. එසේ නොවේ නම් හේ මිත්‍යාදෘෂ්ටිකයෙකි. මළ ගියවුනට අපෙන් ඉටු විය යුතු යුතුකම් කොටසක් ඇත. එය අනිවාර්යෙන් ම ඉටු කළ යුතු ය.
මාතලේ ප්‍රදේශයේ පදිංචිකාරියක වූ සුමනාවතී ගේ දෙකකුල් කොරවීම නිසා යම්තමින් එහා මෙහා ගියේ කිහිලිකරු දෙකක ආධාරයෙනි.
වයස අවුරුදු හැත්තෑවක් පමණ වූ ඇය තවමත් ශරීර ශක්තියෙන් පිරිහුණු බවක් පෙනෙන්නට නැත. කරන්නට තියෙන සෑම වෛද්‍ය ප්‍රතිකාරයක් ම කළත් ඇය සුවපත් කළ නොහැකි වූ බැවින් යන්ත්‍ර මන්ත්‍ර ශාන්තිකර්මවලට නැඹුරු වුවද සුවයක් නොවීය. ඇගේ ස්වාමි පුරුෂයා ගුණදාසය. දුව විනීතා ය. බෑණා පියසේන ය. මේ තුන්දෙනා දිනක් සුමනාවතී රැගෙන ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියහ.
මේ අය සම්පූර්ණ සිද්ධිය නොකියවා සඟවා ගෙන “අපේ අම්මාට ඇවිදින්න බැහැ කොයි තරම් වෛද්‍ය ප්‍රතිකාර කළත් සනීප වෙන්නේ නෑ. ඒකයි මේ එක්කගෙන ආවේ.” යි දියණිය කීවාය.
මෙහිදී රෝගියා බව පෙනෙන සුමනාවතී වෙත ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කළේය. එහෙත් ආරූඪ වූයේ විනීතා ය. ඇගේ කට පැත්තකට ඇද වී හූ කියන්නට පටන් ගත්තා ය.
”කව්ද? මේ කෑ ගහන්නේ. ඇයි කලබල කරන්නේ?”
”මම මෙයාගෙ අත්තම්මා. මමයි මේ ළමයින්ව මේ ස්ථානයට එක්ක ගෙන ආවේ. මෙතැනට එන්න පෙලඹුවේ.”
මෙහිදී විනීතා පියා ගුණදාස කලින් හෙළි නොකළ දෙයක් අනාවරණය කළේය. “ඒ මගේ අම්මා. එයා ඉඳ හිට මගේ දුවට වැහෙනවා” යි කීවේය.
මිය ගිය අත්තම්මා මේ දරුවන්ට ආදරයෙන් මෙසේ ඉදිරිපත් වී ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා එන්නට පෙලඹ වූවා නම් මෙහි තවත් සැඟවුණු දෙයක් ඇති බව ගවේෂකවරයාට අවබෝධ විය.
”හොඳයි අත්තම්මා. ටිකක් ඔය ශරීරයෙන් ඉවත් වෙන්නැ’යි කියා විනීතාට කිරණ ශක්තිය එල්ල කළේ ය.
විනීතා නැවතත් කට ඇද කැර ගෙන අසිහියෙන් අඬන්නට වූවාය.
”ඇයි මේ අඬන්නේ?”
”මම අඬන්නේ දුකට. මං විනීතාට ආදරෙයි. මුං ඇත්ත හංගාගෙනයි කතා කරන්නේ. මුං මාව බැඳලා මූදට දැම්මා. මාව බැඳපු කට්ටඩි වැඩේ හරියට කළේ නෑ. උන් පින් පව් දන්න නිසා හරියට බන්ධනය කළේ නෑ. මම හය මාසයකින් නිදහස් වෙලා ආවා.”
”කව්ද මේ?”
”මම නිලන්ත. මම විනීතාට ආදරෙන් හිටියා. අපි දෙන්නා බඳින්නයි හිටියේ. මුන් අපේ සම්බන්ධයට විරුද්ධයි. මුන් මාව මැරුවා. මුන් මහා අහංකාරයි. විනීතා එක ම දුව නිසා උන්ට මාව මදි වුණා. මට වඩා හොඳ සල්ලිකරයෙක් බෑණා කරගන්නයි මුන්ට වුවමනා වුණේ.”
”ඉතින් නිලන්ත මොනවා වෙලාද මැරුණේ?”
”මම මුන්ගෙ පවුලට ගැළපෙන්නෙ නැහැ කියලා විරුද්ධ වුණා. ඒ වගේ ම මම මත්පැන් බොනවටත් විරුද්ධ වුණා. මුන් කට්ටඩියෙකුට කියලා මොනවද මතුරලා තේ එකකට දාලා මට බොන්න දුන්නා. ඒකෙන් මම අසනීප වුණා. බඩ ගිහිල්ල ම මළා. කොයි තරම් වෙදකම් කළත් බඩයෑම නතර කරන්න බැරිවුණා.”
”ඉතින් ඇයි මේ විනීතට කරදර කරන්නේ?”
”විනීතාට විතරක් නොවෙයි මුළු පවුලෙන්’ම පළි ගන්නවා. මම මහ ගෑනිව කොර කළා. දැන් ඔය කිහිලිකරු වලින් ඇවිදින්නෙ. මුන් මාතරින් කට්ටඩියෙක් ගෙන්නලා රුපියල් ලක්ෂ දෙකක් දීලා මාව බැන්දුවා. කුප්පියකට දාලා ඒක කොන්ක්‍රීට්වලින් වහලා මූදට දැම්මා. ඒ වගේ තුන් සැරයක් මාව මූදට දැම්මා. මමත් නිදහස් වෙලා ආවා. ඉතින් මුන්ගෙන් පළි නොගෙන පුළුවන් ද? මුන්ට හොඳ වටිනා වෑන් එකක් තිබුණා. මම මූදෙන් නිදහස් වෙලා ආපු ගමන් වෑන් එක ගිනි තිබ්බා.”
”ඉතින් මම අහන්නේ ඔච්චර ආදරේ නම් විනීතාට කරදර කරන්නේ ඇයි කියලා?”
”මුන් මගේ විනීතාව වෙනින් අහිංසකයෙකුට කසාද බන්දලා දුන්නා. හැබැයි බැන්දට මේ දෙන්නා සතුටෙන් නම් නොවෙයි ඉන්නේ. ඔහේ ඉන්නවාට ඉන්නවා. මම විනීතාව මගේ ළඟට ගන්නවා. තවම විනීතාගේ කාලය හොඳයි. ඒ වගේ ම විනීතා අසාර්ථක විවාහයක වුණත් එක ගෙදර පවුල් කනවා දකින්න මම කැමති නෑ. මට ඊර්ෂ්‍යා හිතෙනවා.”
”ඉතින් මේ ආත්තම්මගෙ ආත්මය එන්නේ මොකටද?”
”මහත්තයා ඒ ආත්තම්මා විනීතාට ආදරෙයි. එයත් ඉඳහිට විනීතගෙ ඇඟට ආවේස වෙනවා. මේ ගෙදරට දැන් තියෙන කරදරවලින් බේර ගන්න තමයි විනීතගෙ ඇඟට ඇවිත් මේ ඇතුල්කෝට්ටෙට එන්න කියලා උන්දැ පාර පෙන්නුවේ. ඒ අත්තම්මට වුවමනා මේ අම්මවයි දුවයි දෙන්නම සනීප කර ගන්න. හැබැයි සමහර වෙලාවට විනීතගෙ ආත්තම්මා විදිහට මමත් විනීතගෙ ඇඟට ඇවිත් රඟපානවා.”
”හොඳයි දැන් ඉතින් මීට පස්සෙ විනීතගෙ ඇඟට ඇවිත් කරදර කරන්න එපා.”
”එහෙම බෑ මට විනීතව ඕනෑ. මම විනීතට ආදරෙයි. මම විනීතව මගේ ලෝකයට අරගෙන යනවා.”
ගමේ පන්සලට ගොස් බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන ලෙස ද නිලන්ත ගේ ආත්මයට වෛර නොකරන ලෙස ද ඔහුට ද සුගතිගාමීවීම සඳහා මෛත්‍රීයෙන් කටයුතු කරන ලෙස ද ගවේෂකවරයා උපදෙස් දුන්නේ ය.
බෝධි පූජා පවත්වා සති තුනකින් ඔවුන් නැවතත් පැමිණියහ. එදිනද විනීතා ආවිශ්ට වූවාය.
”කව්ද මේ? ආත්තම්මා ද? නිලන්ත ද?”
”නිලන්ත”
”නිලන්ත කොහොමද පහුගිය දවස්වල?”
”මහත්තයා! පහු ගිය දවස් විසි එකේ විනීතා බෝධි පූජාවට යන කොට මමත් ගියා.”
”ඉතින් ඔබේ සිත දහමට නැඹුරු වුණාද?”
”ඔව්! ඊටත් වඩා අවබෝධයක් ආවා.”
”ඒ මොකක්ද?”
”විනීතා බෝධි පූජාව තියන කොට පින් ගන්න මළගිය අය බොහෝ දෙනෙක් ඇවිත් හිටියා.”
”කව්ද? අර අත්තම්මාද?”
”අත්තම්මා විතරක් නොවෙයි. සංසාර ගත මළගිය නෑයෝ බොහොමයක් ඇවිත් හිටියා. විනීතාගේ කලින් ආත්මවල ස්වාමි පුරුෂයෝ, පෙම්වත්තු දහස් ගණනක් ඇවිත් හිටියා. ඒ අය අතරින් මමත් එක ම එක්කෙනෙක් විතරයි. මගේ පස්සෙනුත් සංසාර ගත මළ ගිය නෑයොත් ඇවිත් හිටියා. කලින් ආත්මවල මගේ බිරින්දෑවරු පෙම්වතියෝ දහස් ගණනක් පින් ගන්න ඇවිත් හිටියා. ඒ අය දැක්කා ම මට අවබෝධයක් ආවා මේ එක් කෙනෙක් ගැන ම හිත හිතා වෛරයෙන් පව් පුරවා ගන්නෙ මොකටද කියලා. අපි හැමෝ ම ඒ මල් පහන් පූජාවලට අත ගහලා සද්ධාවෙන් පී‍්‍රතියක් ලැබුවා. පුදුම සතුටක් දැනුණා. වෛර කරලා සිත පීඩාවට පත් කැර ගන්නේ මොකටද කියලා හිතුණා.”
”බෝධි පූජාව තියපු හාමුදුරුවෝ මොකද කීවේ?”
”ඒ හාමුදුරුවෝ කීවා මිනිසුන්ට වා පිත් සෙම් කෝපවීමෙන් ලෙඩ දුක් හැදෙනවා. භූත දෝෂවලිනුත් ලෙඩ දුක් කරදර හැදෙනවා. ඒ නිසා මේ ළමයාට භූත දෝෂයක් තිබේ නම් ඒ භූතයා පින් අනුමෝදන් වී සුගතියට යන්න කියලා පින් අනුමෝදන් කළා. ඒ වෙලාවේ විනීතටත් මාව මතක් වූ බව මට දැනුණා. මට විනීතා ගැන කරුණාවක් ඇති වුණා. විනීතගේ මහ එවුන් මට වස දී මරා ගත්ත කරුමය උන් අරගෙන යාවි. මම වෛර සිතුවිලි නිසා පහතට නොවැටී ඉහළ සුගතිගාමී ආත්මයකට යන්න ඕනෑ කියලා හිතුවා. ඒ හිතන කොට ම මම ජීවත්ව සිටියදී කළ යහපත් දේවල් සිහිපත් වුණා. මම දැන් කාටවත් වෛර කරන්නේ නෑ. මේ සංසාර ගමන මහා දීර්ඝ ගමනක්. ඒ ඇවිත් හිටපු සංසාර ගත මළගිය නෑයින් දැක්කම මට අවබෝධ වුණා. තරහෙන් වෛරයෙන් තව තවත් මේ සංසාරයේ දුක් විඳින්න වුවමනා නෑ කියලා මට හිතුණා.”
”බොහොම හොඳයි. දැන් ඔබට සුගතිගාමී ආත්ම භාවයකට යන්න පින් දහම් කරන පුණ්‍ය භූමියකට යන්න කියලා මම යෝජනා කරනවා. ඔබට කළ හානියට දැන් එක්කෙනෙක් කොර වෙලා. වාහනනයත් ගිනි අරන් විනාශ වෙලා. ව්‍යාපාර කඩා වැටිලා. ඇදුරන්ට, ලක්ෂ හතළිහක් විතර තොවිල්පවිල් වලට වියදම් කරලා. නිලන්ත දැන් මේ අයව අත හරින්න.”
”හොඳයි මහත්මයා. වෙනත් ඇදුරන් වගේ ඔබතුමා අපි වගේ දුකට පත් වූවන් බැඳලා මූදට නොදමන එකත් විශාල පින් කමක්. පින් දීලා යහපත් තැන්වලට යොමු කරන එක අපි වගේ අසරණ වූ භූතාත්මවලට විශාල සේවයක්. පින්කමක්.”
ගවේෂකවරයා ගුණදාස අමතා නිවසේ සාංඝික දානයක් දී සියලුම මළ ගිය ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන ලෙසත්, විශේෂයෙන්ම තරුණ හැඟීම් අනුව විනීතා සමඟ ප්‍රේමයෙන් වෙළී සිටි නිලන්තට ද අවංකවම ඒ පිනින් සුගතිගාමී වීමට ප්‍රාර්ථනා කරන ලෙස ද උපදෙස් දුන්නේය.
දානයෙන් පසු නිලන්ත නමින් පිරිසුදු පලතුරු වට්ටියක් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පූජා කරන ලෙස ද එය විනීතා අතින් ම සිදු කරන ලෙස ද උපදෙස් දුන්නේ ය.
අනුරාධපුරයට ගොස් ඒ පූජාව පවත්වා ආපසු එන විටදීම විනීතා ගේ මවගේ කකුලේ ආබාධය බොහෝදුරට සුවපත්ව තිබූ බවද දැන ගන්නට ඇත. නිලන්තගේ භූතාත්මය දැන් පූජා භූමියේ සැරසරමින් පුද පූජාවලට අත හිත දී සතුටුවෙයි.
Source : Silumina

No comments:
Post a Comment