Your Ad Here

Friday, August 17, 2012

චරිතයට ගැළපෙනවා නම් රොෂාන්, සුරාජ්, සාරංගගේ පෙම්වතිය විදිහට වුණත් රඟපානවා

ගායිකාවක ලෙස කලා ලොවට එක් වූ ඇය වර්තමානයේ අප හමුවට පැමිණෙන්නේ නිළියක ලෙසිනි. මීට අමතරව නිවේදන ක්‍ෂේත්‍රය, ව්‍යාපාරික ක්‍ෂේත්‍රය ඇතුළු විවිධ ක්‍ෂේත්‍රවල ද නියැළී සිටින ඇය පෞද්ගලික ජීවිතයේ මවගේ හා බිරිඳගේ භූමිකා තුළ ද විශාල මෙහෙවරක් ඉටුකරමින් සිටින්නීය. සංජීවනී වීරසිංහ නම් වූ ඇය මෙවර රැජින පුවත්පත සමග කල කතාබහක්.



* * * * *
* සංජීවනී වීරසිංහ කියන ගායිකාව අද කෝ ?
දැනටත් මට සංදර්ශනවලට ආරාධනා ලැබෙනවා. මෑතකදී මම අලුත්ම ගීතයක් පටිගත කරලා රූප රචනා සකස් කරලා නාලිකාවලට භාරදුන්නා. සංජීවනී වීරසිංහ කියන ගායිකාව තවම ඉන්නවා.

* අනූව දශකයේ ඔබ සමග හිටපු නිරෝෂා, සමිතා, උරේෂා නම් අදත් කාර්යබහුල ජනප්‍රිය ගායිකාවෝ ..... ඒත් ඔබ අද එතැන නැහැනේ ....
ඒ අය දක්ෂ ගායිකාවෝ. එයාලා සංගීතයේම නියැලුණු අය. මමත් දක්ෂ ගායිකාවක්. ඒත් මම ගායනය, රංගනය, නිවේදනය වගේම ව්‍යාපාරික ක්‍ෂේත්‍රයටත් යොමුවෙලා ඉන්නවා.

* මොනවද ඔබේ ව්‍යාපාරික කටයුතු ?
මම ‘ඔරිප්‍ලේම්’ සමාගමේ අධ්‍යක්ෂිකාවක් විදියටත් කටයුතු කරනවා. දරු දෙදෙනකුගේ මවක් බිරිඳක් විදියටත් වගකීම් ගොඩයි. ඒ හින්දයි ගායනයට සීමා පැනවුණේ.

* ජනප්‍රියත්වයේ ඉහළම ඉන්න කා‍ලේ සංජීවනී පවතින නිර්මාණවලට දායක වුණේ නැතිලු. ඇතිවී නැතිවී යන නිර්මාණවලට විතරලු දායක වුණේ.
“අපේ දිහා නෑ”, “ලස්සන මගෙ හිත” වැනි ගීත අහලා නැති අය ඔහොම කියනවා ඇති. ඒ ගීත එදා වගේම අදත් පවතිනවා.

* ඒත් සංජීවනී වැඩිපුර ගායනා කළේ පිළිතුරු ගීත, එවැනි ගීත පවතිනවා අඩුයි නේද?
ඒ යුගයේ කැසට්
නිෂ්පාදකවරු මාව පිළිතුරු ගීත ගයන්නට යොදා ගත්තා. ඒ විදියේ ගීත බොහෝ ජනප්‍රිය වුණා. ඒ ගීත බොහොමයක් හින්දි තනු අනුව නිර්මාණය වූ ගීත.

* ඔබ ඒ ගැන දැන් පසුතැවෙනවාද ?
එවැනි ගීත ගායනා කිරීම ගැන මට නම් අදටත් පසුතැවීමක් නැහැ. කවුරු මොනවා කිව්වත් ඒ ගීතවලටත් ආදරේ කළ විශාල පිරිසක් හිටියා.

* නමුත් පිළිතුරු ගීවලින් ඉදිරියට යන්න ඔබට බැරි වුණා?
ඒ යුගයේදී චිත්‍රපට පනහකට වැඩි ප්‍රමාණයකට මම පසුබිම් ගීත ගැයුවා. ඒ කා‍ලේ මට ගායිකාවක් විදිහට නමක් හදා ගන්න බැරි වුණා නම් අද ඔබ වුණත් මගෙන් ඒ ගැන අහන්නේ නෑ නේද ?

* ගායිකාවක් විදියට ජනප්‍රියත්වය අඩුවේගන එද්දී සංජීවනී නිළිකමට පැන ගත්තා කියලා මම කීවොත් ....
මම ඒ චෝදනාව ප්‍රතික්‍ෂේප කරනවා. ඇත්තම ඇත්ත කියනවා නම් පුංචි කා‍ලේ ඉඳන් මගේ ආශාව තිබුණේ නිළියක් වෙන්න මිසක් ගායිකාවක් වෙන්න නොවෙයි. ඒකයි ඊට වැඩි කාලයක් කැප කරන්නේ.

* 1992 සේවිකා රූ රැජින වුණු වෙලාවේම ඔය ආශාව ඉටු කරගත්තා නම් නිළියක් ලෙස මීට වඩා ප්‍රබල තැනක ඉන්නවා නේද ?
ඒ කතාව නම් මම පිළිගන්නවා. එදා හිටපු තරුණ නිළියන් පවා ඔය තරගෙට ඉදිරිපත් වුණා. මම ඒ අතරින් ජයගත්තා. ඒ කා‍ලේ මට චිත්‍රපට එකක් දෙකක් නමෛයි ‍පෝලිමක්ම ලැබුණා. පසුව ඒ චිත්‍රපට වෙන නිළියෝ දාලා කරලා වාර්තා තැබූ අවස්ථාවන් තිබුණා. මට නිළිකමේ දොරටු වැසුවේ අම්මයි තාත්තයි. ඒ දෙන්නටම වුවමනා වුණේ මාව ගායිකාවක් කරන්න.

* එතකොට දැන් නිළියක් වුණේ ?
එදා මට අම්මයි තාත්තයි නැතුව යාළුවෙකුගෙ සාදයකටවත් යන්න අවසර තිබුණේ නැහැ. නමුත් විවාහයෙන් පස්සේ මට ඊට වඩා පුංචි නිදහසක් ලැබුණා. සැමියාගෙන් ලැබෙන සහයෝගයත් මගේ රංගන ජීවිතයට ලොකු පිටිවහලක්.

* දෙමව්පියන්ගේ නියෝගයෙන් අහිමි වූ චිත්‍රපට වෙන නිළියෝ රඟපානවා දකින කොට ඊර්ෂ්‍යා හිතෙන්න ඇති .....
අනේ මේ චරිතය මටම ලැබුණා නම් මීට වඩා හොඳට කරනවා කියලා හිතුණු අවස්ථා නම් තිබුණා.

* අද යොවුන් නිළියන්ගේ මව විදියට රඟපාද්දී ඒ නිළියෝ පෙම් ජවනිකා රඟපානකොටත් සංජීවනීට ඒ විදිහට හිතෙනවාද?
මම දරු දෙදෙනකුගේ මවක්. අද යොවුන් නිළියෝ රඟපාන පෙම්වතියගේ චරිතයකට මට ආරාධනා ලැබෙන්නේ නැහැ කියල මම දන්නවා. ඒ හින්දා ඔය විදියේ බොළඳ සිතුවිලි ඇතිවන්නේ නැහැ.

* ඒ කියන්නේ පෙම්වතියකගෙ චරිතයකට ආරාධනා ලැබුණොත් අද වුණත් භාර ගන්නවා ....
ඔව්. ඉතින් ප්‍රේමයට වයස සීමාවක් නැහැනේ.

* රොෂාන්, සුරාජ්, සාරංග වැනි නළුවකුගේ පෙම්වතිය විදියට රඟපාන්න වුණත් සූදානම්ද?
නව යොවුන් තරුණයෝ වයසින් වැඩිහිටි කාන්තාවන්ට පෙම් කරන අවස්ථා සමාජයේ තියෙනවා. ඒ වගේ ප්‍රේමයන් විවාහය දක්වා දුරදිග ගිය අවස්ථාත් අපි දැකල තියෙනවා. සමාජයට අහිතකර නොවෙන වැරදි පූර්වාදර්ශයක් නොගෙනෙන ඒ වගේ කතාවක් තුළින් සුන්දර නිර්මාණයන් කෙරෙනවා නම් ඔය කියන නළුවෙකුගේ පෙම්වතියක් විදිහට රඟපාන්නත් මට බැරි කමක් නැහැ.

* සංජීවනීට නව යොවුන් විසේකාර ප්‍රේමවන්තියකගේ චරිතයකට ආරාධනා ලැබුණොත්?
එක්තරා වේදිකා නාට්‍යයක පාසල් ඇඳුමින් සැරසිලා රඟපාන්න ආරාධනා ලැබුණා. මම ඒක ප්‍රතික්‍ෂේප කළා. මාව හාස්‍යයට ලක්වන විදියේ දේවල් කරන්න මම ලෑස්ති නැහැ.

* සංජීවනීගේ යෞවනයට අම්මයි තාත්තයි සීමා පැනවූවා කියන දුක තවම හිතේ තියෙනවද?
ඒ අය ගත්තු තීරණය ගැන එදා නම් දුකක් වගේම තරහකුත් ඇති වුණා. ඒත් අද මමත් අම්මා කෙනෙක්. අම්මලා එදා මට නිදහසේ යන්න දුන්නා නම් අද මේ සාර්ථක ජීවිතය මට නැති වන්න තිබුණා.

* ඒ කියන්නේ ඔබ අද බිරිඳක් මවක් ගෘහණියක් හැටියට සාර්ථකයි ද ?
අතිශයින් සාර්ථකයි. අම්මලා කළ දේ සියයට සියයක් හරි. අද මමත් මගේ දුවගේ යෞවනයට සීමා පනවනවා.

Source : Lakbima

No comments:

Post a Comment